Gossips

කටුවන පොලීසියට පහර දුන්නාට පොදු දේපළ පනත යටතේ නඩු

කටුවන – බෙංගමු කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රදේශවාසීන් පිරිසක් කටුවන පොලීසියේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසනවා.
උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත යොමුකර ඇති බවයි.
මෙම මරණයත් සමඟ ප්‍රකෝප වූ පිරිස් පොලීසිය ඉදිරිපිට ටයර් පුළුස්සමින් පොලීසියට දෙසට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.
ප්‍රදේශවාසින් 500 කට අධික පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
පැය හතරහමාරකට ආසන්න කාලයක් පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පිරිස කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර පොලිසිය විසුරුවා හැර ඇත්තේ රාත්‍රි 11යි 30ට පමණයි.
ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීමක් කටුවන පොලීසිය සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රියේයි.
එහිදී බෙංගමුව කන්ද ප්‍රදේශයේදී මාර්ගය අසළ පුද්ගලයෙකු මියගොස් සිට තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා පොලීසිය විසින් පරීක්ෂා කළ බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ පොලිස් පහරදීමකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බවටයි.
මෙම පුද්ගලයාගේ මරණයත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසියට දිගින් දිගටම විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පොලීසිය වටලා ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබුණා.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනා තවදුරටත් වලස්මුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලීසිය සඳහන් කළේ විරෝධතාවට පැමිණි පුද්ගලයින්ගේ යතුරුපැදි 40 ක් සහ ත්‍රිරෝද රථ 6 ක් පොලිස් භාරයට ගත් බවයි.
මේ පිළිබඳව වෙනම පරික්ෂණයක් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරියෙකු සඳහන් කළා.