Gossips

රනිල්ට සහය පළ කිරීමේ යෝජනාවට පෙර, දෙමල සන්ධානය ජනපති හමුවේ

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව තිබෙනවා.
ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
හමුවට දෙමළ ජාතික සන්ධානයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්වුණා.
මෙම හමුවෙන් පසුව විපක්ෂ නායකවරයා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා ද හමු වුණා.
එම සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරමින් ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව අවසන් තීන්දුවකට එළඹෙන බවයි.
අද පස්වරු 1 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින්.
ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් එම යෝජනාවට සහය නොදක්වන බව ප්‍රකාශ කර ඇති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ඊයේ ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව ද අද පළමු වරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.
ඒ එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන්.
චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, රංජිත් මද්දුම බණ්ඩාර මෙන්ම මාවෙයි සේනාධිරාජා සහ බිමල් රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම කමිටුවට අයත්.
එහිදී මෙම කමිටුව විසින් පොලීසියට නියෝග කර ඇත්තේ අදාළ ගැටුම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙසයි.
පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පැවති අතර, එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් එහි නායක රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කරමින් ගෙන එනු ලබන යෝජනාව සඳහා පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව තිබෙනවා.