Gossips

රාහුල් ගාන්ධිගෙන්, මෝදිට අභියෝග

ඉන්දියාවේ හදවත ලෙස සැලකෙන මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චටිස්ගාර් ඇතුළු ප්‍රාන්ත 5ක මැතිවරණ ප්‍රතිඵල අද ප්‍රකාශයට පත්වුණා.
එහිදී රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ප්‍රාන්ත 3කින් ඉදිරියට පැමිණ ඇති අතර, තෙලංගානා සහ මිසෝරාම් ප්‍රාන්තවල බලය හිමිවී ඇත්තේ ප්‍රාදේශීය පක්ෂවලටයි.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බලය සඳහා තියුණු තරඟයක් පැවති අතර, කොංග්‍රස් පක්ෂය ආසන 116ක් හිමි කර ගත් අතර, භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 102ක් පමණයි.
එහිදී පසුගිය ප්‍රාන්ත මැතිවරණයට වඩා භාරතීය ජනතා පක්ෂයට ආසන 63ක් අහිමි වීමත්, කොංග්‍රසයට ආසන 58ක් එක්වීමත් විශේෂයෙන් කැපී පෙනෙනවා.
රාජස්ථාන් ප්‍රාන්තයේ ආසන 199ක් අතරින් 95ක් ජයග්‍රහණය කළ කොංග්‍රසය එහි බලය හිමි කර ගත්තේ පසුගිය මැතිවරණයට වඩා ආසන 74ක් තම පක්ෂයට එක් කර ගනිමින්.
චටිස්ගාර් ප්‍රාන්තයේ ආසන 90ක් අතරින් 63ක් හිමි කර ගත් කොංග්‍රස් පක්ෂය එහි බලය හිමි කර ගත්තා.
මෙම මැතිවරණය ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේ අවසන් පූර්ව සටනක් ලෙසින්.
ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.