Gossips

මෝදර හෙල්ලූ 6 දෙනෙකු රෝහල්ගත කළ වෙඩි ප්‍රහාරය, ඇතුලේ ඉන්න කුඩු රොෂාන්ගේ වැඩක්

කොළඹ – මෝදර – අලුත් මාවතේ රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කොළ පැහැති ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එම අවස්ථාවේ තවත් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි 58 හැවිරිදි කාන්තාවකට ද වෙඩි වැදීමෙන් තුවාල සිදුවී තිබෙනවා.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස අතර මීට වසර දෙකකට පමණ පෙර මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ පාතාල සාමාජිකයෙකු වන චූටි උක්කුවා නැමැත්තාගේ නැගනිය සහ මස්සිනා සිටිනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ මත්කුඩු සම්බන්ධයෙන් වන නඩුවකට පෙනී සිට නිවස් වෙත යමින් සිටියදී ඔවුන් මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණා.
පසුපසින් යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා ත්‍රිරෝද රථය හරස් කර, ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 25ක් පමණ එල්ල කර තිබෙනවා.
2016 වසරේ ඔක්තෝම්බර් මස 23 වන දා රාත්‍රියේදී මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදී කුඩු රොෂාන් නැමැත්තා ඇතුළු පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් චූටි උක්කුවා නැමැත්තා සහ ඔහුගේ සමීපතමයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඊට පෙර චූටි උක්කුවා කුඩු රොෂාන්ගේ පියා ඝාතනය කර තිබූ අතර, ඊට පළි ගැනීමක් ලෙස පසුව කුඩු රොෂාන්, චූටි උක්කුවාගේ මව ඝාතනය කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි කුඩු රොෂාන්, සමිට්පුර ප්‍රදේශයේදී චුටි උක්කුවා නැමති පාතාල සාමාජිකයා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රොෂාන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.
අද සිදුවූ වෙඩි තැබීම ද මෙම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් ලෙසට පොලීසිය සැක කරන අතර, ඒ සඳහා පැමිණි පුද්ගලයින් සොයා මෝදර පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.