Gossips

SLFP සහ SLPP නායකයන් ජනපති හමුවේ

ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවැත්වීමට නියමිත හමුව තව සුළු වේලාවකින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙම හමුවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීමට නියමිත නඩු තීන්දුවෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙම හමුවට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා.
අද පෙරවරුවේ මෙම හමුව සිදුවුණේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි.
එමෙන්ම ඊයේ දිනයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂ නායකයන් අතර හමුවක්ද නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී සිදුවුණා.
මෙම හමුවලදී ගනු ලැබූ තීරණ අදාළ පක්ෂවල නායකයන් විසින් අද දිනයේදී ජනාධිපතිවරයා වෙත දැනුම්දීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර රට තුළ මේ වනවිට උද්ගතව ඇති දේශපාලන තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අදහස් පළ කළා. ඒ, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.