Gossips

මන්ත්‍රී ගැටුමේ විමර්ශණ කෙරෙන උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව කරුණු විමසීම සඳහා එම විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියා පාර්ලිමේන්තුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
සිද්ධිය පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් කිරීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි කථානායක කරූ ජයසූරිය පියවර ගත්තේ.
චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා ඇතුලු මන්ත්‍රීවරුන් ද ඇතුළත් එම කමිටුව පළමුවරට අනිද්දා පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියාටද දැනුම්දී ඇති බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගිය නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම ගැටුම්කාරි තත්ත්වය හටගත් අතර, එහිදී සිදුවූ අලාභහානිවලින් පාර්ලිමේන්තුවට රුපියල් දෙලක්ෂ හැටදහසක පමණ පාඩුවක් සිදුව ඇති බවට මූලික තක්සේරුවලදී අනාවරණ වුණා.