Gossips

ගල්කිස්සේදී බීමත් රියදුරෙකු වාහන තුනක් හප්පයි – තුන්දෙනෙකු මරුට, 8ක් රෝහලේ (ඡායාරූප)

ගල්කිස්ස ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු වාහන තුනක් හප්පා සිදුකළ අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අලූයම 12.10 ට පමණ පළමු අනතුර සිදුව ඇත්තේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණය ආසන්නයේදියි.
එහිදී කොළඹ දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් වෑන් රථයක ගැටී තිබෙනවා.
එම අනතුරින් වෑන් රථයේ රියදුරු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෝටර් රථය පලාගොස් තිබෙනවා.
එලෙස පලාගිය මෝටර් රථය රත්මලාන – මැලිබන් හන්දිය ආසන්නයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදි දෙකක ගැටී ඇති බව සඳහන්.
එහිදී මෝටර් රථයේ රියදුරු සහ එක් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පසුව අනතුරු සිදුකළ මෝටර් රථය අසළ තිබූ තාප්පයක ගැටී නැවතී ඇති අතර, මෙම අනතුරු සිදුකළ පුද්ගලයාද බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, පොලිස් අත්අඩංගුවේ ප්‍රතිකාර ලබන බවයි වාර්තාවන්නේ.
සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මොහු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි.