Gossips

මියන්මාර කාන්තාවන් බලහත්කාරයෙන් චීනයේදී විවාහ කරන බවට තොරතුරු

විවිධ පොරොන්දු ලබාදී චීනයට රැගෙන එන මියන්මාර කාන්තාවන් දහස් ගණනක් එහිදී බලහත්කාරයෙන් විවාහ දිවියට ඇතුළත් කරන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
මහජන සෞඛ්‍යය පිළිබඳ, ජෝන්ස් හොප්කින්ස් – බ්ලූම්බර්ග් පාසල සිදුකළ එම අධ්‍යයනයට අනුව එලෙස මියන්මාරයේ කචින් සහ ෂාන් ප්‍රාන්තවලින් චීනයට රැගෙන ආ මියන්මාර කාන්තාවන්ගෙන් සංඛ්‍යාව 7500 කට අධිකයි.
ඔවුන් මෙලෙස චීන මනාලයන් වෙත විවාහ කරදෙනු ලබන්නේ චීනයේ දැනට පවතින ස්ත්‍රී පුරුෂ ජනගහණ අසමබරතාව හේතුවෙන්.
වසර ගණනාවක් ක්‍රියාත්මක වූ එක් පවුලකට එක් දරුවෙකු යන ප්‍රතිපත්තිය නිසා මේ වනවිට චීනයේ පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 33ක් අඩු බව සඳහන්.
චීනයට මෙලෙස මියන්මාරය පමණක් නොව කාම්බෝජය, ලා ඕසය සහ වියට්නාමය යන රටවල දුප්පත් කාන්තාවන් දහස් ගණනක් විවාහ සඳහා රැගෙන එන බවට තොරතුරු ලැබී තිබෙනවා.