Gossips

බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩසහිත සිර දඬුවම්

අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට වරදකාරිය වූ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා.
එය වසරකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටයි එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත් කළේ මාවනැල්ල පොලීසියේ සැරයන්වරියකටයි.
විත්තිකාරියගේ දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරනයෙන් ඉල්ලා සිටියද පොලිස් නිලධාරිනියක් අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සුළුකොට තැකිය හැකි තත්වයක් නොවන බව විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.
රථවාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමකින් තොරව දඩ පත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් 2500 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත මාවනැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා.
එම නඩු විභාගයේදී විත්තිකරු වෙනුවෙන් සාක්ෂි දුන් මෙම පොලිස් සැරයන්වරිය, සිද්ධිය වූ අවස්ථාවේ තමාද එම ස්ථානයේ සිටි බවත්, අල්ලස් කොමිසමේ නිලධාරීන් කසළ බඳුනක තිබී මුදල් ගන්නවා තමන් දුටු බවත් අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණා.
දඬුවමේ කාලය වසරක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්ම කිරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.