2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වෙනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ මෙම ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර් හිදී පැවැත්වෙන බවයි.
මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 28 දෙනෙකු ලියාපදිංචිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් වෙන්දේසියේ ඉහළම ලංසු සීමාවේ කාණ්ඩයට ඇතුළත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉහළම ලංසු සීමාවේ කාණ්ඩයට ඇතුලත් වී ඇති මොවුන් දෙදෙනාගේ මුලික ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5කට අධික බවයි වාර්තා වන්නේ.
මෙම කාණ්ඩයේ සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්ත ක්‍රීඩක කොරී ඇන්ඩර්සන්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්, එංගලන්ත ක්‍රීඩක සෑම් කරන්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්රෑම්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂෝන් මාෂ්, නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩාර්සී ෂෝට් යන අයයි.
වසර 2008 සිට 2018 දක්වා පැවති අයි.පී.එල් තරඟාවලියන් හීදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා වන්නේද කඩුලු 154ක් ලබා ගත් ලසිත් මාලිංගයි.
කෙසේ වෙතත් මෙම වසරේ (2018) පැවති තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංගව මිලදී ගැනීමට කිසිඳු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ අතර ඒ හේතුවෙන් ඔහුට සිදුවුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යැවිමේ උපදේශකයෙක් ලෙස කටයුතු කිරීමටයි.
කෙසේ වෙතත් ලසිත් මාලිංගට නැවත වරක් අයි.පී.එල් තරඟාවලියට ක්‍රීඩකයෙක් ලෙස එක්විමට වරම් හිමිව තිබීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අයි.පී.එල් තරඟාවලි 06කට එක්වී ඇති අතර ලසිත් මාලිංග අයි.පී.එල් තරඟාවලි 08කට ක්‍රීඩාකර තිබෙනවා.
ලබන 18 පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩකයන් 50 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයන් 20 දෙනෙකු අයි.පී.එල්. කණ්ඩායම්වලට එක් කර ගනු ඇති.