Gossips

පාර්ලිමේන්තු ගැටුමෙන් සිදු වූ හානිය දෙලක්ෂ හැටදහසක් – තක්සේරුව තවදුරටත්

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම්වලදී රුපියල් දෙලක්ෂ 60,000 ක පමණ අලාභ හානියක් සිදුව ඇති බව තක්සේරුවකින් හෙළි වී තිබෙනවා.
එම තක්සේරුවට අනුව සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට සිදුව ඇති හානිය රුපියල් දෙලක්ෂ 30,000 ක් පමණ වනවා.
එමෙන්ම, අදාළ තක්සේරුවට අනුව සභා ගර්භයේ දෙපස කුටිවල සවි කර ඇති යකඩ කූරු වලට රුපියල් 30,000 ක පමණ අලාභ හානියක් සිදුව ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියා.
පාර්ලිමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම තක්සේරුව සිදුකර ඇති අතර, සභා ගර්භයේ තිබූ පොත්පත්වලට වූ හානිය මේ වනවිට ගණනය කරමින් පවතින බව වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
නොවැම්බර් 14,15 සහ 16 යන දිනවලදී මෙම ගැටුම්කාරි තත්ත්වය ඇති වූ අතර, එහිදී වූ හානිය තක්සේරු කිරීම සඳහා රාජ්‍ය රක්ෂණ සමාගමක නියෝජිතයින්ද පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණය නිරීක්ෂණය කළා.
කෙසේ වෙතත්, ඔවුන්ගේ තක්සේරුව මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නැහැ.
එම තක්සේරුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට සිදුවූ අලාභය එම රක්ෂණ සමාගම හරහා ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු කරන බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
මේ අතර, පසුගිය 29 වනදා කතානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තුව තුළ ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම සඳහා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා.
එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි. කෙසේ වෙතත්, මෙතෙක් එම කමිටුව රැස් වී නැහැ.