Gossips

නොවැම්බරයේ සංචාරක පැමිණීම දෙලක්ෂයට ළඟා වෙයි

දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව නොවැම්බර් මාසයේදී එක්ලක්ෂ 95,582 ක් ලෙස සියයට 16 යි දශම 8 කින් වර්ධනය වී තිබෙනවා.
ඉන්දියාවෙන් සහ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළා.
විශේෂයෙන් එක්සත් රාජධානියට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 21,971 ක් ලෙස සියයට 61 යි දශම 01 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා බ්‍රිතාන්‍ය ‘‘බාමි ආමි’’ ක්‍රිකට් රසිකයන් විශාල වශයෙන් පැමිණීමක් එහිදී දක්නට ලැබුණා.
කෙසේ නමුත්, චීනයේ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව සුළු වශයෙන් අඩු වී තිබෙනවා.
නොවැම්බරයේදී ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 39,137 ක් වූ අතර, එය සියයට 21 යි දශම 4 ක වර්ධනයක්.
සුඛෝපභෝගි නෞකාවලින් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ජර්මනියෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ද 18,754 ක් ලෙස සියයට 89 යි දශම 6 කින් ඉහළ යාම විශේෂත්වයක්.
ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය සැලකූ විට දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2 යි දශම බින්දුවයි 8 ක් වන අතර, එය සියයට 11යි දශම 2 ක වර්ධනයක්.