Gossips

SMS මගින් සාමාන්‍ය පෙළ ලියන්න ගිය අයදුම්කරුවෙක් සහ සහය දුන් ගුරුවරියක් බලංගොඩ දී දැලේ

සාමාන්‍ය පෙළ විභාගයට නීතිවිරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටි සිසුවෙක් හා ඊට සහාය දුන් ගුරුවරියක් බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පාසලක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි එම ප්‍රදේශයේ බාහිර අයදුම්කරුවෙක් සහ ගුරුවරියක්.
සැකකාර අයදුම්කරු ජංගම දුරකතනයක් තම කකුල් අතර සඟවාගෙන මෙලෙස විභාගයට පිළිතුරු සපයා ඇති බවයි වාර්තා වන්නේ.
අයදුම්කරැ විභාගය ආරම්භයට මිනිත්තු විස්සකට පසුව විභාග ශාලාවට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
එලෙස පැමිණෙන අවස්ථාවේදී ඔහු ජංගම දුරකතනයක් සඟවා එහි රැගෙන එන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
ඒ අනුව අදාළ ජංගම දුරකථනයට SMS මාර්ගයෙන් සැකකාර ගුරුවරිය අදාළ අයදුම්කරු වෙත පිළිතුරු යවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අයදුම්කරු ඊයේ පැවති සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළව මෙලෙස නීතිවිරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටියදීයි විභාග මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුව කලාප කාර්යාලය අදාළ නීතිමය පියවර ගෙන ඇත්තේ.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවෙකු නීතිවිරෝධීව පිළිතුරු සපයන බවට ලද පැමිණිල්ලකට අනුව සැකකරු සහ ගුරුවරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකාර අයදුම්කරු සහ ගුරුවරිය අද (07) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බලංගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
(බලංගොඩ රෝහන වසන්ත)