Gossips

සන්ධානය නොමැතිව රැස්වූ පාර්ලිමේන්තුවේ එජාප යෝජනාව කල් දැමේ

එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ඉවත් කර, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වන කල් තැබීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.
පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කරගත් යෝජනාවන්ට අනුව අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට යෝජනා කිරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත්, ඊට අදාළ යෝජනාව අද විවාදයට නොගෙන ඉවත් කර ගන්නා බව මයන්ත දිසානායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.
මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වුණා.
මෙම පක්ෂ නායක හමුවට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් සහභාගි නොවීම විශේෂත්වයක්.
මෙම පක්ෂ නායක හමුවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමද රැස් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ. සුමන්දිරන්, නවීන් දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ආර් සම්බන්ධන් සහ පාඨලී චම්පික රණවක එහිදී අදහස් දක්වා සිටියා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ වීරකුමාර දිසානායක අද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් නොමැතිව පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10යි 30ට ආරම්භ වුණා.
එය යළි රැස්වන්නේ ලබන 12 වනදා පස්වරු 1ට යි.
අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක අද න්‍යාය පත්‍රයේ තිබූ යෝජනාව ඉල්ලා අස් කර ගන්නා බව ප්‍රකාශ කළ අතර, ඉන් අනතුරුව සුජීව සේනසිංහ ඇතුලූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද අදහස් පළ කළේ කල් තැබීමේ යෝජනාව විවාදයට ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලමින්.