Gossips

අතුරු තහනමට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නීතීඥවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු එහි පාර්ශවකරුවන්.
එසේම අග්‍රාමාත්‍යවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් දෙකක් ඉදිරිපත් කෙරුණා.
එක් පෙත්සමක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතර, අනෙක් පෙත්සම ඉදිරිපත් කළේ දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
අභියචානාධිකරණය ලබාදුන් මෙම අතුරු තහනම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස අද ගොනුකළ අභියාචනා පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.
මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට තරම් අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද පෙත්සමේ සඳහන්.
මෙම අභියාචනා ගොනු කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලූ පාර්ශව කිහිපයක මන්ත්‍රී කණ්ඩායම් සහ මහින්ද රාජපක්ෂ අතර අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.