Gossips

වෛද්‍ය සභාවේ නව සභාපති, තනතුර ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය භාර ගැනීම විශේෂඳ වෛද්‍ය පාලිත අබේකෝන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍යමය හේතූන් සලකා තමා මෙම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
වෛද්‍ය ආඥා පනතේ හිමි බලතලවලට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පත් කරනු ලැබුවේ පසුගිය මස 26 වනදායි.
මහාචාර්ය කොල්වින් ගුණරත්න තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වෛද්‍ය සභාවේ සභාපති ධුරය එතෙක් පුරප්පාඩුව පැවතුණා.
කෙසේ වෙතත්, තමන්ට එම තනතුර භාරගත නොහැකි බව දන්වමින් විශේෂඳ වෛද්‍ය පාලිත අබේකෝන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.
පසුගිය සිකුරාදා දිනයේදී වෛද්‍ය සභාව රැස් වූ අතර එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ උප සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා විසින්.
අප මේ පිළිබඳව ඇයගෙන් ද කරුණු විමසූ අතර මහාචාර්ය නිලන්ති ද සිල්වා කියා සිටියේ සෞඛ්‍ය හේතූන් මත සභාපති ධූරය භාර නොගන්නා බවට විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් තමන්ට වාචිකව දැනුම් දුන් බවයි.
මේ නිසා මේ වනවිට තමන් වෛද්‍ය සභාවේ වැඩබලන සභාපතිවරිය ලෙස කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළා.
වෛද්‍ය සභාවේ නව සභාපති ධූරයට පත් කළ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ සහ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.
විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද හිටපු සෞඛ්‍ය චමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එමගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ වෛද්‍ය වෘත්තිය සුරක්ෂිත කළ හැකි බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ.