Gossips

නිමල් සිරිපාල රජකාලේ දඬුවම් ඉල්ලයි

මානව හිමිකම් පසෙකලා දුම්රියට හානි කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඇමරිකානු ඩොලර් මිලියන 93 යි දශම 6 ක් වැය කර ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ මැදිරි 9 කින් යුක්ත ද්විත්ව බලවේග කට්ටලය සහ ඩීසල් විදුලි දුම්රිය එන්ජිම කොළඹ වරාය වෙත ගොඩබෑමේ අවස්ථාවට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, වව්නියාව සහ ඊරට්ටපෙරියකුලම දුම්රිය ස්ථාන අසළ දී යාල්දේවි සීග්‍රගාමී දුම්රියේ මැදිරි කිහිපයක් අද දහවල් ගැලවී යාමෙන් එහි ප්‍රධාන නියාමකවරයා තුවාල ලැබුවා.
කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම සමඟ මුල් මැදිරි දෙක මෙලෙස ගැලවී ඉදිරියට ධාවනය වී තිබෙනවා.
එම අවස්ථාවේදී නියාමක මැදිරිය තුළ සිටි ප්‍රධාන නියාමකවරයා ඇද වැටීමෙන් හිසට තුවාල සිදුව ඇති බවයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.
පසුව දුම්රිය මැදිරි සකස් කර යාල්දේවි දුම්රිය පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.