Gossips

පොලීසියේ දෙදෙනා ඝාතනයට, තවත් හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි නායකයෙක් සොයයි

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු වන අජන්තන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඔහු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ දෙවැනියා ලෙස කටයුතු කර ඇති බවටයි සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන රාසනායගම් සර්වනන්දම් නැමති 48 හැවිරිදි සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු ලෙස කටයුතු කර ඇති බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මහවිරු සැමරුම සංවිධාන කිරීම සඳහා මඩකලපුවට පැමිණ ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබීම නිසා ඊට උරණවීම හේතුවෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මේ අතර, ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.