Gossips

වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනයේ සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට

මඩකලපුව – වව්නතිව්හි මාර්ග බාධකයකදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
48 හැවිරිදි ඔහු වට්ටකච්චි – හච්සන් පාරේදී, කිලිනොච්චිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.
ඔහු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදීමට නියමිතයි.
ඊයේ අලූයම වාර්තා වූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ ගාල්ල සහ කල්මුණේ යන ප්‍රදේශවල පදිංචිවල පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ රාත්‍රියේ මඩකලපුව රෝහලේදී සිදුකෙරුණා.
එහිදී අනාවරණ වී තිබුණේ එක් පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි පහරවල් දෙකක් එල්ල කර ඝාතනය කර ඇති බවයි.
එසේම, සෙසු පොලිස් නිලධාරියාගේ හිසේ එක් වෙඩි ප්‍රහාරයක සළකුණු සහ ශරීරයේ බහුවිධ කැපුම් තුවාල රැසක් පවතින බව ද මරණ පරීක්ෂණයෙන් අනාවරණ වුණා.
මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානය පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද ඊයේ නිරීක්ෂණය කළා.