Gossips

ලෝක ශූර ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ශ්‍රවණාබාධිතයන්ගේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
එම කණ්ඩායම පිළිගැනිම සඳහා ක්‍රීඩා අමත්‍ය ෆයිසර් මුස්තප්පා ඇතුළු ක්‍රිකට් බලධාරීන් රැසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල
වෙත පැමිණ සිටි බවයි ගුවන්තොටුපොළ හිරු වාර්තාකරු කියා සිටියේ.
ඉදිරියේදී ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අනුබද්ද කිරීමට කරයුතු කරන බව ක්‍රීඩා අමත්‍යවරයා මෙම අවස්ථාවේ අදහස් දක්වමින් පවසා සිටියා.
එහිදී ක්‍රීඩා අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමටද ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වී සිටින අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් වලට හිමිවන වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවයි.
ශ්‍රවණාබාධිතයන්ගේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින්.
තරඟාවලිය ඉන්දියාවේදී පැවති අතර අවසන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 145ක් රැස් කළ අතර ඉන්දීය ශ්‍රවණාබාධිත කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 05ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු 109ක් පමණයි.