Gossips

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන තනතුරෙන් ඉවත්වෙයි

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන එම ධූරයෙන් ඉවත්ව තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් කියා සිටියේ අගෝස්තු මාසය දක්වා ඇය එම ධූරයේ කටයුතු කිරීමට නියමිතව තිබූ බවයි.
එහෙත් එම කාල සීමාව මාර්තු මාසයේ අවසන් කරන ලෙසට ඇය කළ ඉල්ලීමකට අවසර ලබාදුන් බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව මේ වනවිට පුරප්පාඩුව පවතින ලන්ඩනයේ මහ කොමසාරිස් තනතුරේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වැඩ ආවරණය කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් ප්‍රකාශ කළා.
මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද(22) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට ගෙළ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව කතා බහක් ඇති වුණා.
පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් පසුව ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.
කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ආරක්ෂාව, තානාපති සේවයේ ප්‍රතිරූපය පිළිබඳ සලකා බලමින් ඔහුව මෙරටට කැදවීමට තීරණය කළ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.