Gossips

දඹර අමිල හිමිට 95,000ක් දුන් වවුචරයක් අධිකරණයේදී හඳුනා ගැනේ

පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව ලබාදුන් වවුචර් පතක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී අද හඳුනා ගැනුණා.
ඒ, එම සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැනුණු අතර, ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කළ මුදිත හර්ෂජිත් තමානගම කියා සිටියේ අදාළ වවුචර්පත පසුගිය ජුලි මාසයේ දඹර අමිල හිමියන්ට ගෙවන ලද රුපියල් 95,000ක දීමනාව ඇතුළත් වවුචර් පත බවයි.
නඩුවේ සාක්ෂි විභාගය ලබන 7 වනදා දක්වා කල් තැබුණා.
මේ අතර, පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000 ක මාසික ඉන්ධන දීමනාවක් ලබාදී ඇති බවට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේදී අනාවරණ වූයේ ඊයේ (29) දිනයේදියි.
දඹර අමිල හිමියන්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් ජනක මල්ලිමාරච්චි ඇතුළු 40 දෙනෙකුට මාස්පතා රුපියල් 75,000 සිට ලක්ෂයක් දක්වා මුදලක් ලිට්රෝ ගෑස් සමාගමෙන් පසුගිය වසර තුනක් පුරා ගෙවා ඇති බවද ඊයේ අධිකරණයේදී හෙළි වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.