Gossips

දේවාලයක බෙර හඬ නිසා 04 දෙනෙකු රෝහලේ

මින්නේරිය – හේන් යාය ප්‍රදේශයේ පිහිටි භද්‍රකාලී දේවාලයක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් මත පදනම්ව ඊයේ රාත්‍රියේ දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අදාළ දේවාලය භාර පූජකවරයා සහ එම දේවාලය අවට පදිංචි ඔහුගේ ඥාතීන්ද වන පිරිසක් අතර, මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දේවාලයේ පූජා කටයුතු සිදුකිරීමේදී නිකුත් වන අධික ශබ්දය මුල් කරගනිමින් පැවති ආරවුලක් මෙම ගැටුමට හේතු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මින්නේරිය පොලිසියට මීට පෙර ලද පැමිණිල්ලකට අනුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, පසුව පූජා කටයුතු සඳහා උදෑසන සහ සවස මිනිත්තු දහය බැගින් වෙන් කර දී ඇති බව සඳහන්.
එහෙත් එම කාලය තුළ සිදුකෙරෙන තේවාවේදී අධික බෙර ශබ්දයක් නිකුත් වන බවට චෝදනා කරමිනුයි අසල්වාසීන් පූජකවරයා සමඟ ගැටුම හටගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, භද්‍රකාලී දේවාලයේ පූජකවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා.