Gossips

මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට සීත ගගුල දක්වා ඉදිකර ඇති අනවසර වෙළදසැල් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, අවිධිමත්ව පරිසරයට කැලිකසල බැහැරන වන්දනාකරුවන් නීතියේ රැහැණට අසුකර ගැනීම සදහා ස්ථාන කිහිපයක සී.සී.ටී.වී කැමරා පද්ධති සවි කිරීමට ද තීරණය කර කෙරුණා.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ගයේ සීමාව සලකුණු කිරීමෙන් අනතුරුව පොලිසියේ ද සහයෝගය සහිතව අදාළ වෙළඳසැල් කඩා ඉවත් කිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.
එළඹෙන ශ්‍රී පාද වන්දනා සමයේදී වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍ය නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයක එක් රැස් කර ඒවා කොළඹට ප්‍රවාහණය කර ප්‍රතිචක්‍රිකරණය කිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේ.
එමෙන්ම මෙවර වන්දනා සමයේදී හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවා තිබෙනවා.
2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ පෙරහර 3 ක් මගින් දෙසැම්බර් 21 වනදා ශ්‍රී පාද මලුවට වැඩමවීමෙන් අනතුරුව මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කෙරෙනු ඇති.