Gossips

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මේ වන විට මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට ළගා වී තිබෙනවා.
මොරගහකන්ද ජලාශයේ රන්දියවර මුදා හැරීම පසුගිය ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදු වූ අතර ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු විවෘත කරන පළමු අවස්ථාව මෙයයි.
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2007 වසරේදීයි.
කොන්ක්‍රීට් වේල්ලක්, පස් වේල්ලක් සහ කළු ගල් පිරවූ වේලි තුනක් සහිතව මෙරට ඇති එකම ජලාශය ද මෙයයි.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4,60,000 ක්.
එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයකට ආසන්න වන අතර, ඉන් කුඹුරු අක්කර 82,000 ක් අස්වැද්දීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ ජලය සැපයෙන අතර උතුරු මැද පළාතේ වැව් 1600 කට සහ වයඹ පළාතේ වැව් 303 කට ජලය නිකුත් කෙරෙනවා.
ඒ අනුව එම පළාත්වල අක්කර ලක්ෂ 03 ක් අස්වැද්දීමට හැකියාව ලැබෙන අතර පවුල් ලක්ෂ 03 කට පිරිසිදු පානීය ජලය ද සැපයෙනවා.
මොරගහකන්ද ජලාශය මගින් විදුලිය නිපදවීම ද සිදුවන අතර, ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ප්‍රමාණය මෙගාවොට් 25 ක්.
මෙමගින් වාර්ෂිකව ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් ඉතිරි කෙරෙනවා.
ජලාශයේ අපේ්ක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමගින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225 ක්.