Politics Sri Lanka

නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ…

නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ…

“නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි සාහිත්‍යය, චිත්‍ර, මූර්ති ආදී කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කාගේවත් හව්හරණක් නැතිවයි අද නාට්‍ය කරුවනුත් නාට්‍ය කලාවේ නිරත වෙලා ඉන්නේ. නාට්‍ය කලාව වෙනුවෙන් තිබෙන උණ නිසා තමයි අපි පෞද්ගලිකව ඉතා සුළු පිරිසකගෙන් ලැබෙන සහයෝගය මත තවමත් නාට්‍ය කලාවේ නියැළී සිටින්නේ.” යැයි ප්‍රවීන රංගණ ශිල්පී, නාට්‍යවේදී රොඩ්නි වර්ණකුල මහතා සඳහන් කරයි.

වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන රොඩ්නි වර්ණකුල මහතා සිය ‘සාරංගා නැවෙන් ඇවිත්’ නමැති වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස නැවතත් නාට්‍යලෝලීන් වෙත තිළිණ කිරීමට සූදානම් සිටියි. මෙහි දැක්වෙන්නේ එම වේදිකා නාට්‍යය සහ ඔහුගේ අනෙකුත් කලා කටයුතු මෙන්ම ‍පොදුවේ නාට්‍ය කලාව පිළිබඳ රොඩ්නි සමග කළ සංවාදයකි. එහිදි උක්ත කරුණ ඒ මහතා විසින් අවධාරණය කල අතර එම සම්පූර්ණ සංවාදය පහතින් පල වේ…

සාරංගා නැවෙන් ඇවිත් නම් වූ ඔබේ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස නැවතත් වේදිකාවට රැගෙන ඒමට මේ දිනවල ඔබ සූදානම් වෙනවා. ඇයි ඔබ එම වේදිකා නාට්‍යය නැවතත් ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට තීරණය කළේ?

‘සාරංගා නැවෙන් ඇවිත්’ කියන්නේ කාලයක් ඉතා සාර්ථක ලෙස වේදිකා ගත වූ වේදිකා නාට්‍යයක්. එහි රඟපෑ ඇන්ටන් ජූඩ්ගේ වියෝවත් එක්ක මීට වසර අටකට කලින් එය රඟ දැක්වීම නතර කරන්න සිද්ධ වුණා. ඒ වනවිට එහි දර්ශන 200ක් වේදිකා ගත කරලා තිබුණා. ‘සාරංගා නැවෙන් ඇවිත්’ කියන්නේ නැටුම් සහ ගැයුම් ඇතුළත් ප්‍රසාංගික නාට්‍යයක්. පිරිහීගෙන යන රසවින්දනය ගැනයි ඒ වේදිකා නාට්‍යයෙන් කතා බහ කෙරෙන්නේ. ඉතින් මට හිතුණා එහි තිබෙන ප්‍රසාංගික බව සහ තේමාවේ තිබෙන කාලීන බව නිසා අදටත් ඊට හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.

නව නිෂ්පාදනය අලුත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එක්කාසු කරගෙන වේදිකාවට ගේන්නද ඔබ බලා‍පොරොත්තුවෙන් ඉන්නේ?

මිහිර සිරිතිලක මේ වේදිකා නාට්‍යයට අලුතෙන් එකතුවෙනවා. ඒ හැරණාම පැරණි නළු නිළි පිරිසම තමයි මෙය රංගනයේ යෙදෙන්නේ.

ඒ වගේම ඔබ මේ දිනවල තවත් භාරදුර කටයුත්තකට සූදානම් වන බව ආරංචියි?

ඔව්. ඒ තමයි මගේ කලාදිවියට වසර 37ක් සපිරිම නිමිති කරගෙන පැවැත්වීමට සූදානම්වන ‘3 ෆෝස්’ නමැති සංගීත ප්‍රසංගය මැයි 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්වෙන්නේ. කුමාර තිරිමාදුර සහ සමන් ලෙනින් එදාට මා සමග ගීත ගයනවා. මේ දිනවල මගේ වැඩි කාලයක් ගත වෙන්නේ ඒ ප්‍රසංගයේ පුහුණුවීම් කටයුතුවලට තමයි.

ඒ සමග ඔබ තවත් වේදිකා නාට්‍ය කිහිපයකටත් දායක වෙනවා?

ඔව් දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ සහ ‘නරි බෑනා’ වේදිකා නාට්‍යවලටත්, ආනන්ද අතුකෝරලගේ ‘හොරු හොඳයි’ සහ ‘ජයලාල් රෝහණගේ ‘ගොන්ඩෝලා’ කියන නාට්‍යවලටත් සුපුරුදු පරිදි රංගනයෙන් දායකවෙනවා.

හාස්‍ය නාට්‍ය රැල්ලක් ඇවිත් අද වෙද්දි වේදිකාව ගිලගෙන තිබෙන බව ඇතැමුන් පවසනවා?

හුඟාක් අය අද අහන්නේ අපට නරඹලා හිනාවෙන්න පුළුවන් වේදිකා නාට්‍යය මොනවාද තියෙන්නේ කියලයි. මේ නිසා ඒ ඉල්ලීම සපුරන්න අද කා‍ලේ බොහොම ළඳ බොළඳ බාල මට්ටමේ වේදිකා නාට්‍ය බිහිවෙනවා. ඇත්තටම සිනහව සහ හාස්‍යය කියන්නේ දෙකක්. හාසේ‍යාත්පාදක නිර්මාණයකින් ගැඹුරින් යථාර්ථය නිරූපනය කරන්න පුළුවන්. ඒත් අද බිහිවෙලා තියෙන බොළඳ සිනහ නාට්‍ය රැල්ලෙන් නම් නාට්‍ය කලාවට යහපතක් වෙන්නේ නැහැ.

නාට්‍ය කලාවේ උන්නතියට ලැබෙන අනුග්‍රහය අදවන විට යහපත් මට්ටමකද තිබෙන්නේ?

නාට්‍ය කලාවට විතරක් ‍නෙවෙයි සාහිත්‍යය, චිත්‍ර, මූර්ති ආදී කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කාගේවත් හව්හරණක් නැතිවයි අද නාට්‍ය කරුවනුත් නාට්‍ය කලාවේ නිරත වෙලා ඉන්නේ. නාට්‍ය කලාව වෙනුවෙන් තිබෙන උණ නිසා තමයි අපි පෞද්ගලිකව ඉතා සුළු පිරිසකගෙන් ලැබෙන සහයෝගය මත තවමත් නාට්‍ය කලාවේ නියැළී සිටින්නේ.

ඔය අතරේ නාට්‍ය කලාවට සෘජුවම සම්බන්ධ පිරිසක් වන නාට්‍ය සංවිධායකවරු ගැනත් විවිධ විවේචන එල්ල වෙනවා නේද?

ඔව්. නාට්‍ය සංවිධායකවරු ඉතා හොඳින් තමන්ගේ කටයුතු කරගෙන ගිය කාලයක් තිබුණා. නමුත් අද වෙද්දී ඒ සමහරු තමන්ගේ නමින් එක දිගටම රංගශාලා වෙන්කරවා ගැනීම වැනි අසාධාරණ කටයුතුවල යෙදෙනවා. ඇත්තටම අද නාට්‍ය සංවිධායකවරු මුදල් පස්සේ යන කළු කඩ මුදලාලිලා බවට පත්වෙලා කියලා කීවොත් වඩාත් නිවැරදියි.