Gossips

ධීවර ගැටළු කඩිනමින් විසදන්න අගමැතිගෙන් උපදෙස්

ධීවර ක්‍ෂේත්‍රයේ පවතින ගැටළුවලට කඩිනමින් විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (27) හමුවූ අවස්ථාවේදියි.
උතුර – නැගෙනහිර ධීවර සංවිධාන, බහුදින යාත්‍රා ධීවර සංවිධාන, කුඩා ධීවර කර්මාන්තවල නියැලෙන පිරිස් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
එහිදී ධීවර වරායන්හි පවතින ගැටළු මෙන්ම නිෂ්පාදන මිල අධිකවීම, ධීවර බෝට්ටු නිෂ්පාදනය සඳහා අවශ්‍ය ෆයිබර් ඇතුළු අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී රජයේ ආනයනික බදු අඩු කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
දැනට ධීවර සංස්ථාව සතු ශීතාගාර කඩිනමින් නවීකරණය කිරීමට පියවර ගන්නා ලෙසද ධීවර අමාත්‍යවරයාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති අතර, ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීම සහ අයිස් මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ධීවරයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා රක්ෂණ ක්‍රමයක් සහ මව් නෞකා දෙකක් ලබාදීමටත්, ජීවිතාරක්ෂක පහුරු ලබාදීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් මෙහිදී උපදෙස් ලබාදී ඇති බව සඳහන්.