Gossips

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෙට අධිකරණයට

තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
අද දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම්දී තිබූ නමුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අද එහි පෙනී සිටියේ නැහැ.
හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු ප්‍රකාශ කළේ මහවිරු දිනය අදට යෙදී තිබෙන නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂන කටයුතුවලට තමන් එක්ව සිටින බවයි.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවී තිබෙනවා.
පසුගිය සැත්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුුව හමුවට කැඳවා තිබුණ ද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන්.
මීට පෙර අවස්ථා 3 කදී අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව නියෝග නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 02 වනදා නියෝග කළා.
2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස 13 වන දායි.
පසුගිය 21 වනදා ඊට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝග කෙරුණේ සැකකාර ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
පැහැර ගත් තරුණයින් සගවාගෙන දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදුන් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවට එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.