Gossips

ඉන්ධන දුම්රිය රියදුරු වර්ජනය අවසන් – පිට පළාත් බෙදා හැරීම්වලට තවදුරටත් බාධා

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වර්ජනය අද (27) පෙරවරු 10 ට අවසන් කෙරුණා.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
ඊයේ (26) පස්වරුවේ ආරම්භ වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහන දුම්රිය වාර 12 ක් අවලංගු කෙරුණා.
මේ හේතුවෙන් පිට පළාත්වලට ඉන්ධන බෙදා හැරීම අඩපණ වී තිබූ අතර එය හෙට (28) උදෑසන වනවිට යථා තත්ත්වයට පත්වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු ඛනිජ තෙල් අමාත්‍යාංශය මගින් පිට පළාත්වලට ඉන්ධන බෙදා හැරීම සදහා බවුසර් රථ යොදා ගන්නා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.