Gossips

අද පාර්ලිමේන්තුවට එජාපයෙන් කල් තැබීමේ යෝජනාවක් – යනවා ද?, නැද්ද ? තීරණයක් ගැනීමට ආණ්ඩු පක්ෂය රැස්වේ

උණුසුම් දේශපාලන වාතාවරණය හමුවේ අදත් පාර්ලිමේන්තුව රැස්වනවා.
අද (27) පස්වරු 1ට රැස්වීම ආරම්භ කිරීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, අද දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට වේත්‍රධාරීවරයා තීරණය කළා.
ගැලරියට පිවිසීමේ අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණයි.
එමෙන්ම පාර්ලිමේන්තු සැසි වාරයට පෙර සිටම ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් ද යොදා ඇති බව සඳහන්.
මේ අතර, අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.
ඒ සම්බන්ධයෙන් අද දහවල් 12ට රැස්වන ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මේ අතර, අද දිනයේදී පක්ෂ නායක රැස්වීමක් කැදවීම සම්බන්ධයෙන් මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණ ද, එවැනි රැස්වීමක් නොපැවැත්වෙන බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.