Gossips

CIDය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ පැමිණීම අපේක්ෂාවෙන්

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණ ද ඔහු මේ දක්වා එහි පැමිණ නැහැ.
කෙසේ වෙතත්, අද දිනය තුළ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙනු ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂාවෙන් පසුවනවා.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙලෙස කැඳවා ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශය හමුවේ අද පෙරවරු 10ට පෙනී සිටින ලෙසට ඔහුට පසුගිය සිකුරාදා දැනුම්දීමක් සිදුකර තිබුණා.
ඉකුත් සැත්තැම්බර් 10 වනදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවට කැඳවා තිබුණ ද ඔහු එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන්.
මීට පෙර අවස්ථා 3 කදී අධිකරණය ඔහුට එරෙහිව නියෝග ද නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 02 වනදා නියෝග කළා.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (28) යළි කැදවීමට නියමිත අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඒ සඳහා පෙනී සිටිනු ඇතැයි අපේක්ෂිතයි.