Gossips

අර්බුද මැද අදත් පාර්ලිමේන්තුව – මහජන සහ කථානායක ගැලරි වැසේ

අර්බුදකාරී දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි.
අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.
එසේම මෙවර ද පාර්ලිමේන්තු ගැලරියට ඇතුලුවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.
පසුගිය සඳුදා සහ සිකුරාදා පාර්ලිිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට පියවර ගැනුණා.
එසේම, අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමිවනවා.
පසුගිය සිකුරාදා පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව ගියා.
කෙසේ වෙතත්, අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව තීරණය කරනු ලබන්නේ දහවල් පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.