Gossips

වසන්ත සේනානායක එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට

නව රජයට සහය පළ කරමින් සංචාරක හා වනජීවි අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වී සිටිනවා.
ඊට එක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ වඩිවේල් සුරේෂ් සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ද ඊට එක්ව සිටි බවයි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු 7 ට අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණේ එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
නව රජයට එක්ව අමාත්‍ය ධුරයක් ලබාගත් වසන්ත සේනානායක මහතා ද කණ්ඩායම් රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක්.
පසුගිය මස 29 වන දින නව රජයට එක්ව සංචාරක වනජීවි අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ඔහු පසුගිය 14 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්ව එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව සදහන් කළා.
කෙසේ වෙතත්, ඔහු පසුගිය 21 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද එක්වුණා.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව වසන්ත සේනානායක මහතා අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ද එක්වුණා.