Gossips

ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල පාසලක් දින දෙකකට වැසේ

ගැටුමකින් සිසුවෙකු මියයෑමෙන් පසු බේරුවල – උමයිසරා මධ්‍ය මහා විද්‍යාලය දින දෙකකට වසා දමා තිබෙනවා.
බේරුවල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ සිසුවා මියයෑම සහ සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම සළකා බැලීමෙන් අනතුරුව පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.
මේ හේතුවෙන් එම පාසලේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර අවසාන විභාගයද දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
පාසලේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු පසු සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ බේරුවල – මරක්කලාවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවෙක්.
මොහු ශිෂ්‍ය නායකයෙකු වන අතර, ඝාතනය සිදුකළ සිසුවා උපදෙසක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම ගැටුමට හේතුවී තිබෙනවා.
පසුගිය 21 වනදා පාසල තුළ මෙම පහරදීම සිදුවී ඇති අතර, මියගිය දරුවා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
අනතුරුව ශල්‍යකර්මයකින් පසු ඔහු යළි නාගොඩ රෝහලට මාරුකර එවා තිබූ අතර, ඊයේ (25) එම සිසුවා මියගිය බවයි නාගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන 15 හැවිරිදි සිසුවා බේරුවල පොලීසිය මගින් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.