Gossips

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක්

පසුගිය අයවැය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වෙත රුපියල් මිලියන 20 බැගින් ලබාදී ඇති බවට එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඊයේ (21) වාද විවාද ඇතිවුණා.
මෙම ප්‍රකාශයෙන් තම වරප්‍රසාද කඩවී ඇති බවයි එම සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් ඊයේ කියා සිටියේ.
අදාළ ප්‍රකාශයෙන් දෙමළ සන්ධාන මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.
ඊට ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා විරුද්ධව අදහස් දැක්වීමත් සමග ඔහු සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරුන් අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මෙහිදී කියා සිටියේ වරප්‍රසාද යටතේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාට අයිතියක් නොමැති බවයි.
මේ අතර මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අනුමත කිරීමද ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.