Gossips

අද සවසත් වැසි වැඩිවෙයි – ජලාශ තුනකුත් වාන් දමයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම උතුරුමැද සහ ඌව පළාත්වලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, නාවලපිටිය නගරය ද ඊයේ (23) රාත්‍රියේදී ජලයෙන් යට වී තිබුණා.
හිරු වාර්තාකරු සඳහන් කළේ අඩියක පමණ ප්‍රමාණයක් නගරයේ මාර්ග අධික වර්ෂාපත් සමඟ පැය කිහිපයක් ජලයෙන් යට වී තිබූ බවයි.
තලවාකැළේ – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැදකුඹුර ප්‍රදේශයේදී විශාල පස් කන්දක් හා ගල් පෙරළීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම පස් හා ගල් පෙරළීම සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව තලවකැළේ සිට පූඩළුඔය දක්වා ධාවනය කරන රථ වාහනවලට මැදකුඹුර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කළා.
පවතින අධික වර්ෂාවත් සමඟ රාජාංගණය, තම්බෝව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද උදෑසන දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති බවයි.
දොරටු 4ක් අඩි 4 බැගින් සහ දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේ.
එමෙන්ම කලාඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමනයට ද සුළු බාධා එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මහඔයේ සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබදව ජනතාව විමසිලිමත් විය යුතු බවයි.