Gossips

ඇරැව්වල මැණික් කොල්ලය, මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයුමක් බවට තොරතුරු

කෝටි 700කට ආසන්න දියමන්තියක් සහ මැණික් ගල් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මහරගම – ඇරැව්වල ප්‍රදේශයේ අරලියපුර පදිංචි බලපත්‍රලාභී මැණික් අලෙවි කරන පුද්ගලයෙකුගෙන් පසුගිය 5 වන දා පැමිණි කොල්ල කල්ලියක් විසින් මෙම මැණික් තොගය පැහැරගෙන ගොස් තිබුණා.
අදාළ ව්‍යාපාරිකයා වසර දෙකක කාලයක සිට මෙම දියමන්ති සහ මැණික් අලෙවි කිරීම සඳහා ගැණුම්කරුවෙකු සොයමින් සිට ඇති අතර, ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මාර්ගයෙන් මෙම කොල්ල කල්ලිය අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණා.
ඔවුන් පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ගිනි අවි ද රැගෙන පැමිණ ව්‍යාපාරිකයා බිය ගන්වා අදාළ විදේශ ජාතිකයා ද සමඟ පළා ගොස් තිබුණා.
පසුව විදේශ ජාතිකයා මහරගම ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
අනතුරුව සිදුකළ විමර්ශනයකදී සිද්ධිය සම්බන්ධ එක් සැකකරුවෙකු පාදුක්ක – වටරැක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ දියමන්තියේ සහ මැණික් ගල් හි ඡායාරූප තිබී පොලීසියට හමුවී තිබුණා.
සැකකරු එහිදී පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මරදාන ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකුට අදාළ දියමන්තිය සහ මැණික් තොගය භාර දුන් බවයි.
ඒ අනුව මෙම කොල්ලය දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයින් පිරිසක් විසින් සිදුකරන්නට ඇති බවට ද පොලීසිය සැක පළ කරනවා.
මේ අතර, රත්නපුර – ශ්‍රී පාද මාවතේ නිවසකට ඊයේ ඇතුළු වූ පිරිසක් එහි සේප්පුවක තිබූ මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නිවැසියන් නොමැති අවස්ථාවේදී නිවසට ඇතුළු වූ මොවුන් කුළු ගෙඩියකින් පහරදී සේප්පුව බිඳ මෙම මැණික් පැහැර ගෙන ගොස් ඇති බවයි.
පැහැර ගත් මැණික්වල වටිනාකම මෙතෙක් අනාවරණ වී නැහැ.