Gossips

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය අතර අද (23) විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයේ යෙදවීම සඳහා තමා නිරන්තරයෙන් පෙනී සිටින අතර, සෑම විටම තමා කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවයි.
තමා කථානායකවරයාගෙන් ඉතාමත් පැහැදිලිව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ සම්මුතිවලට අනුව ක්‍රියාකාරන ලෙස ඉල්ලා සිටි බව මෙම දුරකථන සංවාදයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැහැදිළි කර තිබෙනවා.
එමෙන් ම ආණ්ඩුවේ පැවැත්ම තීරණය කිරීම වැනි ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව නොව, ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය හෝ නමින් ඡන්ද විමසීම යන ආකාරවලින් තෝරාගත් විධිමත් ක්‍රමයක් භාවිතා කරන ලෙස තමා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇත්තේ.
පොදුරාජ්‍ය මණ්ඩලයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වශයෙන් මෙන්ම, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙනුත්, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීම පිළිබඳව සතුටු වන බව මහලේක්ම්වරිය මෙහිදී සඳහන් කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ඉදිරියේදී ද අඛණ්ඩව ඉතාමත් සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන බව ද පැට්‍රීෂීයා ස්කොට්ලන්ඩ් සාමිවරිය මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය සාමකාමීව විසඳාගනු ඇති බව ද මහ ලේකම්වරිය ඉතාමත් විශ්වාසයෙන් සදහන් කර තිබෙනවා.