Gossips

දඹුල්ලේ අන්ධ ව්‍යාපාරිකයාගේ ඝාතනයට බිරිඳ සහ අනියම් සැමියා අත්අඩංගුවට

දඹුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදියි.
46 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා දඹුල්ල ප්‍රදේශයේ ජංගම දුරකථන සහ උපාංග අලෙවිසැලක් පවත්වාගෙන ගිය අතර, පසුව එහි සේවය කළ තරුණියක් සමඟ විවාහ වී තිබෙනවා.
කළක සිට ඇස් නොපෙනීමේ රෝගයකින් පෙළුනු ඔහු සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබුණේ 2016 වර්ෂයේ දෙසැම්බර් 31 වනදායි.
පසුව එය ඝාතනයක් බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ අතර, තම පුත්‍රයාගේ මරණය සැක සහිත බවට ව්‍යාපාරිකයාගේ මව කළ පැමිණිල්ලකට අනුවයි වැඩිදුර විමර්ශන ආරම්භ කෙරුණේ.
එහිදී ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ මහනුවර – ගලගෙදර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට හෙළිවුණා.
මොහු බිරිඳගෙන් වෙන්වී දරුවන් තුන්දෙනා සමඟ ජීවත්වී ඇති අතර, කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා.
පොලීසිය ඊයේ රාත්‍රියේදී මාතලේ ප්‍රදේශයේ සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳ පොලිස් භාරයට ගැනුනේ.
එහිදී ඇය පාපොච්චාරණය කර ඇත්තේ සිදුවූ බහින්බස්වීමකින් පසු සැමියා තල්ලූ කර දැමූ බවත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.
පසුව සියදිවි හානිකරගැනීමක් බවට ඒත්තු ගැන්වීම සඳහා සිරුර නිවසේ ජනේලයක එල්ලූ බවත්, ඇය පාපොච්චාරණය කර තිබෙනවා.
ව්‍යාපාරිකයා මියයනවිට කෝටි විස්සකට වටිනාකමකින් යුත් දේපළ ඔහු සතුව පැවති අතර, මේ වනවිට දේපළ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාගවන බවයි පොලීසිය සඳහන් කළේ.
සැමියා මියයෑමෙන් පසු ඔහුගේ බිරිඳ සිම්පත් රැසක් උපයෝගී කරගනිමින් සැකකරු සමඟ අනියම් සබඳතාව අඛන්ඩව පවත්වාගෙන ගොස් ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.
එසේම ඔවුන් දෙදෙනා එක්ව රඹුක්කන ප්‍රදේශයේ කෘෂිරසායන අලෙවි සමාගමක්ද ආරම්භ කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.