Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට – තේරිම් කාරක සභාවට එ.ජා.පෙ යේ නම් තවමත් නැහැ

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයින්ගේ නම් මෙතෙක් ලබාදී නැහැ.
කෙසේ වෙතත් අදාළ නියෝජිතයින්ගේ නම් අද හෝ හෙට දිනයේදී කථානායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩුවේ සාමාජිකයින් හත්දෙනෙකු නම් යෝජනා කර ඇති බව සභානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
එහි දැක්වුණේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මෙලෙස ආණ්ඩු පක්ෂයෙන් තේරීම් කාරක සභාව සඳහා නම් කර ඇති බවයි.
මේ අතර සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායකවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා.
එමඟින් ඔහු ප්‍රකාශ කර තිබුණේ තේරීම් කාරක සභාවේ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදි නම් කරන ලද සාමාජිකයින් සම්බන්ධයෙන් ස්වාධීන තීරණයක් නොලැබුනහොත් විරෝධය පළ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
ජනතා විමුක්ති පෙරමුණ ද තේරීම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ නලින්ද ජයතිස්සගේ නම් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානය මෙතෙක් සිය නාමයෝජනා ඉදිරිපත් කර නොමැති අතර, බොහෝදුරට පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඒ සඳහා යෝජනා කරනු ඇති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා කතානායකවරයා නිල බලයෙන් පත් වනවා.
මීට අමතරව විරුද්ධ පක්ෂ නායකවරයා ද මෙම කාරක සභාව නියෝජනය කරන අතර සෙසු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ අතර බෙදී යාමට නියමිතයි.
මේ අතර හෙට පාර්ලිමේන්තුව රැස්වීමට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කථානායකවරයා විසින් කැඳවා ඇති අතර, එහිදී තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් සහ හෙට දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.