Gossips

තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ නියෝජිතයන් නම් කරයි

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩුවේ සාමාජිකයින් හත්දෙනෙකු නම් කර තිබෙනවා. සභානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මෙලෙස ආණ්ඩු පක්ෂයෙන් තේරීම් කාරක සභාව සඳහා නම් කර ඇති බවයි.
මේ අතර සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායකවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා. එමඟින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ප්‍රමාදවී හෝ තේරිම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කිරීම පිළිබඳ ස්තූති වන බවයි.
2015 ජනවාරි අටවනදා ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුවේ මුළු මන්ත්‍රීවරු සංඛ්‍යාව 50 ක් වූ අතර විපක්ෂයට ඒ වනවිට 150 කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටි බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
එහෙත් එවකට කථානායක චමල් රාජපක්ෂ තේරීම් කාරක සභාව පත් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට පස්දෙනෙකුද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරු 5 දෙනෙකුද, වතු කම්කරු කොංග්‍රසයට, හෙළ උරුමයට, ජාතික කොංග්‍රසයට සහ ජනතා විමුක්ති පෙරමුණට, එක් අයෙකු බැගින් නියෝජනය වන ලෙස බවද එම ලිපියේ දැක්වෙනවා.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට ද තේරීම් කාරක සභාවේ සාමාජික අසුන් දෙකක් පිරිනමා තිබුණා.
මේ නිසා මෙම තේරීම් කාරක සභාවේ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායකවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය තේරීම් කාරක සභාව සඳහා සිය නම් සිකුරාදා දිනයේදී දැනුම්දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ ප්‍රකාශ කළා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තේරීම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස මේ වනවිටත් යෝජනා කර අවසන්.
සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව සඳහා කතානායකවරයා නිල බලයෙන් පත් වනවා. මීට අමතරව විරුද්ධ පක්ෂ නායකවරයා ද මෙම කාරක සභාව නියෝජනය කරන අතර සෙසු මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ අතර බෙදී යාමට නියමිතයි.