Gossips

මුදල් අත්හිටුවන එජාප යෝජනාව න්‍යාය පුස්තකයට

රජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලබාදුන් යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවට වාර්තාවනවා.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එය ලබන 29 වන දිනට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මෙලෙස ඇතුළත් කර ඇති බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලූ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති හෙයින් රජයේ කිසිදු වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය එම යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ.
නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොළොන්නේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි සහ චතුර සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර වත්මන් රජයට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා අනුමත කර ඇති බැවින් කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට තම කාර්ය මණ්ඩලය සඳහා ගෙවීම් කිරීම සිදුකළ නොහැකි බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් භාරදී තිබෙනවා.
තවදුරටත් එමඟින් ඔවුන් දැනුම්දී ඇත්තේ රට තුළ මෙන්ම අභ්‍යන්තර සහ විදෙස් සංචාර සඳහාද මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි බවයි.
රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන් සහ ජයම්පති වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනුයි අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
මේ අතර ආණ්ඩුව සම්බන්ධයෙන් පවතින සටන අත්නොහරින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පවතින ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මතවීමත් සමඟ නව අමාත්‍යාංශ ලේකම්වරුන්ද අහෝසි වී ඇති බවයි.