Gossips

පුරවැසිභාවය ඉවත් කර ගත් ගීතා මැතිවරණ කොමිසමට යයි

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළා.
ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කර ගත් බවට අදාළ ලිපි ලේඛණ ඇය අද මැතිවරණ කොමිසමට පැමිණ එහි සභාපති මහින්ද දේශප්‍රිය වෙත භාර දුන්නා.
ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියාචනාධිකරණය මගින් පසුගිය වසරේදී අහෝසි කරනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය දරණ බැවින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එය නීතිවිරෝධී බව පවසා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 6 දෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින්.
එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය වර්ෂයේ මැයි 9 වනදා ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනුකරනු ලැබුවා.
පසුව පෙත්සම විභාගයට ගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේ ගීතා කුමාරසිංහට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අනුමත කරන බවයි.