Gossips

ජනපති – කථානායක දුරකථන සංවාදයක – සර්ව පාක්ෂික හමුවට එජාපෙ එයි

පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති අර්බුදය සහ රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය දුරකථන සංවාදයක නිරතවී තිබෙනවා.
මෙහිදී සියලූ පක්ෂ සමඟ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් අද කැඳවා ඇති සර්වපාක්ෂික හමුවට කථානායකවරයා සහභාගි නොවන බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පස්වරු පහට ජනාධිපති කාර්යාලයේදී කැඳවා ඇති සර්ව පාක්ෂික හමුවට සහභාගී වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක සහ අශෝක් අබේසිංහ අප කළ විමසීමකදී ඒ බව සනාථ කළා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ අද පැවැත්වෙන සර්වපාක්ෂික හමුවට තම පක්ෂය සහභාගි නොවන බවයි. එහි දේශපාලන මණ්ඩලය රැස්ව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අද කැඳවා ඇති සර්ව පාක්ෂික හමුවට සහභාගිවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මේ බව සඳහන් කළා.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයද සර්වපාක්ෂික හමුවට එක්වන බවයි එහි නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මෙන්ම අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමයද අද පැවැත්වෙන සර්වපාක්ෂික හමුවට සහභාගිවීමට නියමිතයි.
මිට අමතරව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසය සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංගසයද සර්ව පාක්ෂික හමුවට සහභාගිවීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.
පාර්ලිමේන්තුව තුල පසුගිය දිනවල ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තු කටයුතු යහපත්ව පවත්වා ගෙන යාමට සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීමේ අරමුණුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම හමුව කැඳවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.