Gossips

කතානායකට එරෙහිව CID යට පැමිණිල්ලක්

කතානායකවරයා විසින් කූඨ ලේඛන සකසා ජනාධිපතිවරයා නොමග යැවීමට තැත් කර ඇති බව පවසමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් එමගින් ඉල්ලා සිටියේ කතානායකවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
පසුගිය 14 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළේයැයි පවසමින් කතානායකවරයා ජනාධිපතිවරයා වෙත මන්ත්‍රී අත්සන් ලේඛණයක් ද සමග ලිපියක් යොමුකර තිබුණා.
ඊට ජනාධිපතිවරයා විසින් ද පිළිතුරු ලිපියක් යොමුකළ අතර, එහිදී ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ කතානායකවරයා විසින් එවා තිබූ මන්ත්‍රී අත්සන් ලේඛණයේ මුල් පිටපතෙහි සදහන් පැරණි දිනයක් මකා ඒ මත නව දිනයක් යොදා තිබූ බවයි.
කතානායකවරයා යොමුකර තිබූ මෙම ලිපිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ලංකා ස්වයංරැකියා වෘත්තීයකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කළා.
රත්නපුර, ජා-ඇල, බොරලැස්ගමුව සහ නිට්ටඹුව නගර වලදී ද අද විරෝධතා පැවති අතර, එහිදී විරෝධතාකරුවන් මැතිවරණයක් පවත්වන ලෙසට මෙන්ම කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කර තිබෙනවා.
මේ අතර, නොච්චියාගම නගරයේදී සහ තඹුත්තේගම නගරයේදී අද විරෝධතාවයක් සංවිධාන කර තිබූ අතර, අනුරාධපුර නගරයේදී ද විරෝධතාවයක් පැවැත්වුණා.
එහිදී කතානායකවරයාගේ අනුරුවකට ගිනි තබමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.