Gossips

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් උපදේශයක්

රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබා නිසි සැලසුම් සහ ඉලක්ක ඔස්සේ විධිමත්ව සහ කාර්යක්ෂමව එම කටයුතු ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
ඊට අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුලූ රාජ්‍ය ආයතන ප්‍රධානීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
රට තුළ පවතින දේශපාලන ගැටලූකාරි තත්ත්වය ඉදිරියේ දී නිරාකරණය වනු ඇති අතර එතෙක් රාජ්‍ය ව්‍යුහයේ කටයුතු සහ මහජන සේවාවන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.
එමෙන්ම සියලූ රාජ්‍ය නිලධාරින් අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව ඉදිරියට ද සිය වගකීම් ඉටුකරනු ඇතැයි තමා විශ්වාස කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
අමාත්‍යාංශවල කටයුතු කරගෙන යාමේ දී මතුව ඇති ගැටලූ කිහිපයක් පිළිබදව මෙහි දී අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාවේ දී ලබා දුන් විශේෂ උපදෙස් අනුව බාධාවකින් තොරව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසයි.
වරාය, විදුලිය, පෙට්‍රෝලියම්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවා කිසිදු ගැටලූකාරී තත්ත්වයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඇතුළු ජනතා සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කරන ලෙස ද මෙහි දී රාජ්‍ය නිලධාරින්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර එම කටයුතු අධීක්ෂණය කරන ලෙස තමා ආණ්ඩුකාරවරුන් වෙත ද උපදෙස් ලබා දී තිබෙන බව ද කියසිටියා.