Gossips

අභිරහස් ලෙස මියගිය කාන්තාවක් ගල්කිරියාගම ළිඳකින් හමුවෙයි

ගල්කිරියාගම, බෝගහවැව ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (16) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ බෝගහවැව, දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි දෙදරු මවක්.
ඊයේ (16) රාත්‍රී 7ට පමණ ඇය සිය නිවස පසු පස පිහිටි නාන ස්ථානයේ දිය නාමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කාන්තාව දිය නාමින් සිටි බව කියන ස්ථානයට මීටර් 20ක් පමණ නුදුරින් පිහිටි අනාරක්ෂිත ළිඳක තිබී ඇයගේ සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇයගේ සැමියාද නිවසේ රැදී සිට ඇති අතර ඇය දිය නාමින් සිටි ස්ථානයේ නොමැති බව දැනගැනීමත් සමඟ ඔහු අසල්වැසියන්ට ඒ පිළිබදව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව අසල්වැසියන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී කාන්තාවගේ සිරුර ළිඳේ පාවෙමින් තිබියදී සොයාගැනීමට හැකිව තිබෙනවා.
සිදුකළ මූලික විමර්ශණ අනුව කාන්තාවගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැකකරන අතර මරණය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශණ ගල්කිරියාගම පොලිසිය මඟින් සිදුකරනවා.