Gossips

අදත් පාර්ලිමේන්තුව නොසන්සුන් – පොලිස් ආරක්ෂාව මැද පැමිණි කථානායක විශ්වාසභංගය සම්මත වූ බව කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අද ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට තමන් පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
අදත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක අසුන අත්පත් කරගනිමින් විරෝධතාවක නිරත වීම හේතුවෙන් කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයී.
ඊට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායී.
කෙසේ වෙතත්, එය එකඟතාවයකින් තොරව අවසන් වූ බව ප්‍රකාශ කරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන ඉන් ඉවත්ව ගියා.
හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවන්ට අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා දැනුම්දුන් පරිදි මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද නව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාර දී තිබුණා.
අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී එය ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ.
පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ නමුත්, ඊට පෙර සිටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වුණේ ඊයේ පාර්ලිමේන්තුව තුළට පිහි රැගෙන ආ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම සහ රංජන් රාමනායක යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.
එහිදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක අසුනේ, අසුන්ගෙන සිටි අතර, ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පුවරු රැගෙන විරෝධතාවයේ නිරත වුණා.
විරෝධතාවය අතරතුර අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ කතානායක අසුන අසල සිට සභාව අමතනු ලැබුවා.
ඒ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුනේ අසුන්ගෙන සිටියා.
පස්වරු 2.15 ට පමණ පොලිස් කණ්ඩායමක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු වන දොරටුවකින් සභා ගර්භයට පැමිණි අතර, කතානායකවරයා ඔවුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ සභාවට ඇතුළු වුණා.
එම අවස්ථාවේදී ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ද්‍රව්‍ය පොලිසිය දෙසට එල්ල කළා.
තවත් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක අසුන වෙනත් ස්ථානයකට රැගෙන ගිය අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පියවර ගත්තේ කතානායකවරයාට වෙනත් ස්ථානයක අසුනක් පැනවීමටයි.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් එම අසුන රැගෙන පොලිසිය දෙසට එල්ල කළ අතර, තවත් මන්ත්‍රීවරයෙකු පොලිසිය වෙත මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළා.
පසුව, පොලිසියේ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහිතව කතානායක කරූ ජයසූරිය මයික්‍රෆෝනයකින් සභාව අමතනු ලැබූ අතර, ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයට ඡන්දය විමසන බවයි කතානායකවරයා එහිදී ප්‍රකාශ කළේ.
ඡන්දයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ අතර, එය පිළි ගන්නා බව ප්‍රකාශ කළ කථානායකවරයා ලබන සඳුඳා දක්වා පාර්ලිමේන්තුව කල් තබන බවයි කියා සිටියේ.
පසුව කතානායකවරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේම පැමිණි දොරටුවෙන් පිටත්ව ගිය අතර, ඉන් පසුවද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විටින් විට ගැටුම් ඇතිවුණා.
එහිදී ගාමිණී ජයවික්‍රම පෙරේරා, මලික් සමරවික්‍රම සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල වී තිබූ අතර, විජිත හේරත් මන්ත්‍රීවරයාගේ නලලටද තුවාල සිදුවුණා.
පාර්ලිමේන්තු පොලිසිය සඳහන් කළේ ගැටුමට මැදි වීමෙන් පොලිස් නිලධාරීන් 07 දෙනෙකුද සුළු තුවාල ලබා ඇති බවයි.