Gossips

මැති සබයේ පිහි වැලිකඩ පොලීසියට

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම අතරතුර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිකඩ පොලීසියට භාරදී තිබෙනවා.
පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුවන බවයි.
ඊයේ ගැටුම අතරතුර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිහියකින් පහරදීමට උත්සාහ කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ද පිහියක් අතැතිව රැඳී සිටි බවටයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මේ අතර, පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එරෙහිව අද පොලිස් මූලස්ථානයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ආචාර්ය විමල් ගීගනගේ විසින්.
ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් පසුගිය දිනවල ක්‍රියාත්මක වූ අතර ඊයේ ඇති වූ මෙම සිද්ධිය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් දැයි සැකයක් පවතින බැවින් ඒ පිලිබඳව වහාම රටට කරුණු හෙළි කරන ලෙසයි ආචාර්ය විමල් ගීගනගේ සිය පැමිණිල්ල තුලින් ඉල්ලා සිටියේ.
එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත ද අද පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර, පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ උණුසුම්කාරි තත්ත්වය අතරතුර තුවාල ලැබූ මන්ත්‍රී දිලුම් අමුණුගම ද තවදුරටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ අතෙහි ඇඟිලි කිහිපයකට තුවාල සිදුවූ අතර ඊයේ දිනයේදී ඔහු සැත්කමකට ද භාජනය කර තිබුණා.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතුවලට තමන්ගේ පැමිණීම අවශ්‍ය වන්නේ නම් ඊට සහභාගි වීමට සූදානම්ව සිටින බවයි.