Gossips

විමල්ට සහ මහින්දානන්දට එරෙහි නඩු දෙකක් විභාගයට

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 4 කට අධික කැරම් ක්‍රීඩා උපකරණ, දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව යටතේ් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් අවසර ඉල්ලා තිබෙනවා.
මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අසාද් නවාවි මේ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද අද අධිකරණයේ පෙනී සිටි අතර, නීතිපතිවරයා ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට නඩුව ලබන වසරේ පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තේ.
මේ අතර, ජගත් මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී මහජන පීඩාවක් ඇති වන ලෙස විරෝධතා පැවැත්වීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය අමාත්‍ය විමල් වීරවංශට ඇතුළු 07 දෙනෙකුට එරෙහි අද සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
ඒ මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන පරිදි මහජන පීඩාවක් ඇති වන ලෙස මොවුන් විරෝධතාවයේ නිරත වූයේ 2016 වසරේ පෙබරවාරි මස 06 වැනිදායි.
මෙහි 7 වන සැකකරු වන චමින්ද ජයලාල් නමැත්තා පදිංචිව සිටි ස්ථානයෙන් අතුරුදන්වී ඇති බැවින් ඔහු නොමැතිව සෙසු සැකකරුවන්ට පමණක් සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය මීට පෙර දැනුම්දී තිබුණේ.
ඒ අනුව, අද ගොනුකළ සංශෝධිත පැමිණිල්ල ලබන වසරේ පෙබරවාරි 11 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.